Close
හෙළ දරු දැරියන්ගේ විද්‍යා ඉ-සඟරාව

වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?

ඩිමෙන්ෂියාව dementia විද්‍යා සඟරාව

ඩිමෙන්ෂියාව යනු කුමක්ද?

ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙම රෝගයේ විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ උග්‍ර වීමට පෙර එය හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමයි. වයස අවු. 65 ට වැඩි පුද්ගයන්ගෙන් 5%කට පමණ මෙම රෝගී තත්වය දැකිය හැකි අතර තරුණ පුද්ගලයන් අතර මෙම රෝගය දුර්ලභ වේ.

සෑම තත්පර 7 කට වරක් ලොව පුරා ඩිමෙන්ෂියාවෙන් පෙළෙන එක් අයෙකු හඳුනා ගැනේ.

ඩිමෙන්ෂියාවට බලපාන හේතු මොනවාද?

විවිධ වර්ගයේ dementia තත්වයන් පවතී. සුලභ තත්වයන් නම්,

  • ඇල්ෂයිමර් ඩිමෙන්ෂියාව (Alzheimer’s Disease)
  • පශ්චාත් ආඝාත ඩිමෙන්ෂියාව (Vascular Dementia)
  • ලෙවී දේහ ඩිමෙන්ෂියාව (Lewy Body Dementia)

ඇල්ෂයිමර් ඩිමෙන්ෂියාව (Alzheimer’s Disease)

වැඩි වශයෙන් දක්නට ලැබෙන චිත්ත වික්ෂිප්ත රෝග තත්වය මෙයයි. මෙහිදී සිදුවන්නේ මතකය සහ සිතීම ආශ්‍රිත ගැටළු ඇති කිරීමයි. එමෙන්ම නව කරුණු ඉගෙනීමට අපහසු වීම, මෑත කාලීන සිදුවීම් මතක තබා ගැනීමට අපහසු වීම, පුද්ගලයන්ගේ නම්, මුහුණු හෝ ස්ථාන අමතක වීම, අන් අය සමඟ සන්නිවේදනය අපහසු වීම සහ ඔවුන් පවසන දේ වටහාගත නොහැකි වීම මෙම තත්වයේ දී සිදුවේ. එසේම ඇල්ෂයිමර් රෝගය තුළින් පුද්ගලයාගේ පෞරුෂය වෙනස් වන අතර එමනිසා රෝගී පුද්ගලයාගේ හැසිරීමේ විශාල වශයෙන් වෙනස් ඇති වේ.

වෛද්‍යවරුන් පවසන්නේ, මෙම තත්වය සඳහා හේතු වන්නේ අසාමාන්‍ය ප්‍රෝටීනයක් මොළයේ සෛලවල තැන්පත් වී එම සෛල දිරාපත් වීම නිසා බවයි. කෙටි කාලීන මතකය අහිමි වී යාම, සිහි විකල් භාවයට පත් වීම, කෝප ගැනීම, තනිව වෙන් වී සිටීමට උත්සහ දැරීම සහ ශරීර ක්‍රියාකාරීත්වය කෙමෙන් දුර්වල වීම, යන රෝග ලක්ෂණ මෙම තත්වයේ දී පෙන්වයි.

ඩිමෙන්ෂියාව
සාමාන්‍යය මොළයක් සහ ඇල්ෂයිමර් රෝගය වැළදුනු මොළයක් – https://www.drugwatch.com

දැනුමට යමක් – මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

පශ්චාත් ආඝාත ඩිමෙන්ෂියාව (Vascular Dementia)

මෙහිදී සිදු වන්නේ රෝගියාට නොදැනිම මොළයේ රුධිර නාලයක් පුපුරා යාම හේතුවෙන් මොළයේ කිසියම් කොටසකට ලැබෙන රුධිරය නොලැබීයාම හෝ මොළයට රුධිරය සපයන රුධිර වාහිනී අවහිර වීමෙන් ඔක්සිජන් හිඟ වී මොළයේ කොටස් මියයාම යි. මෙහිදී මොළයේ විනාශ වන කොටස් මත රෝගයේ බලපෑම ද විවිධ වේ. මතකය අඩුවීම, අවධානය අඩුවීම, වචන අමතක වීම, විශාදය සහ ඇවිඳීමේ අපහසුතා මෙම තත්වයේ පොදු රෝග ලක්ෂණ වේ.

ඩිමෙන්ෂියාව
පශ්චාත් ආඝාත dementia ඇති වන ආකාරය – https://www.merckmanuals.com

ලෙවී දේහ ඩිමෙන්ෂියාව (Lewy Body Dementia)

ඇල්ෂයිමර් රෝගයෙන් පසු දෙවන වඩාත් සුලභ dementia තත්වය වේ. මොළයේ බාහික කොටස් වල ක්ෂුද්‍ර අපද්‍රව්‍යයක් වන ලෙවී දේහ (Lewy Bodies) තැන්පත්වීම නිසා ඇතිවන අවහිරතා හේතුවෙන් මෙම තත්වය ඇති වේ. මෙම ඩිමෙන්ෂියා තත්වයේ දී ඇල්ෂයිමර් රෝගය හා පාකින්සන්ස් රෝගය යන තත්වයන්ට අදාළ රෝග ලක්ෂණ පෙන්වයි.

මීට අමතරව පාකින්සන් රෝගය හේතුවෙන් ඇතිවන dementia තත්වයක් ද මොළයේ ඉදිරි කොටසේ සෛල වලට හානිවීමෙන් හටගන්නා ඩිමෙන්ෂියාව තත්වයක් ද ජානමය අර්බුදයක් හේතුවෙන් හටගන්නා හන්ටින්ග්මන් රෝගය නිසා  ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයක් ද ඇත.

තවද මෙම සියලු තත්ත්ව අතරින් දෙකක් එකතුවීමෙන් ඇතිවන මිශ‍්‍ර dementia තත්වයක් ද ඇත. මෙම තත්වයන් ට අමතරව ඉතා දුර්ලභ තත්වයක් වන Creutzfeldt – Jakob Disease (CJD) නම් ඩිමෙන්ෂියා තත්වයක් ද පවතී. මෙහිදී සිදුවන්නේ ප්‍රියෝනයක් මගින් මොළයේ ඇති ප්‍රෝටීන අනු අසාමාන්‍ය ලෙස වෙනස් හැඩයන්ට ලක් කිරීමයි. මෙම තත්වයන් අතරින් බොහෝ රෝගී තත්වයන් සුව කළ හැකි නොහැකි නමුත් සමහර රෝගී තත්ව කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝග ලක්ෂණ පාලනය කළ හැක.

ඩිමෙන්ෂියාව
ලෙවී දේහ (Lewy Bodies) මොළයේ තැන්පත් වන ආකාරය – https://www.mayoclinic.org

ඩිමෙන්ෂියාව හඳුනාගන්නේ කෙසේද?

ඩිමෙන්ෂියා රෝගියකු තුළ බහුලව දක්නට ලැබෙන පොදු රෝග ලක්ෂණ,

  • දෛනික ජිවිතයේ  සිදුවීම් අමතක වීම.
  • තමා නිතර ඇසුරු කරන අයගේ නම් ගම් තොරතුරු අමතක වීම.
  • කතා බහේදී වචන අමතක වීම, ලිවීමේ හා කියවීමේ අපහසුතා ඇති වීම.
  • තීරණ ගැනීමේ හා ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව අඩු වීම.
  • හුරු පුරුදු පාරවල් සොයා ගැනීමට අපහසු වීම.
  • තමන්ට අමතක වීමත් සහ එය පිළිගැනීමට අකමැතිවීමත් සමඟ අනිසි සැක ඇති වීම.
  • අධික ලෙස කෝපාවිෂ්ට වීම.
  • මල මුත්‍රා පාලනයකින් තොරව පිටවිම.
  • රාත‍්‍රි කාලයේ නිදිවර්ජිතව සිටීම.
  • නිකරුනේ ඇවිදීම.
  • ජීවිතේ එපාවීම වැනි ප‍්‍රකාශ සිදුකිරීම.

ඔබට හෝ ඔබ දන්නා හිතවතෙකුට ඉහත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළගම පිහිටි මනෝ වෛද්‍ය සායනකට යොමු වන්න. එහිදී රුධිර පරීක්ෂණ සහ මොළයේ ස්කෑන් පරීක්ෂණ සිදු කර රෝග විනිශ්චය ලබා දේ.

dementia රෝගීන් සඳහා වෙන් වූ ලෝකයේ පළමු ගම්මානය නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් හි දී පවත්වාගෙන යයි.

ඩිමෙන්ෂියා රෝගයෙන් වැළකිය හැකි ද?

වෛද්‍යවරුන් පවසන්නේ මෙය ඇතුළු මානසික රෝග රැසකට අප පරිභෝජනය කරන  ආහාර හේතු වන බවයි. නිවැරැදි සක‍්‍රීය ජීවන රටාවකට කුඩා කල සිටම හුරු වීම, සමබල ආහාර වේලක් ලබා ගැනීම, දුම්පානයෙන් හා  මත්පැන් පානයෙන් වැළකීම, කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයන් පාලනය කරගැනීම, ව්‍යායාම කිරීම සහ මහලු වියේදී පවා නව විෂයයන් ඉගෙන ගැනීම මගින් මෙම රෝගී තත්වයෙන් වැළකී සිටීමට හැක.

මෙතෙක්  dementia රෝග විනිශ්චය කරනු ලැබුවේ රෝග ලක්ෂණ සහ මානසික හැකියාවන් තක්සේරු කිරීම මතය. නමුත් වර්තමානයේ Duke Eye Center මගින් සිදු කරන ලද අධ්‍යනයක් මගින් මොලයේ සෛලවල සිදුවන වෙනස්කම් හේතුවෙන් හටගන්නා ඩිමෙන්ෂියාව, ඇසේ දෘෂ්ටි විතානයේ ඇති සංවේදී සෛල පරීක්ෂාවෙන් හඳුනා ගත හැකි බවට සොයා ගෙන ඇත.

ඇල්ෂයිමර් හෝ ඩිමෙන්ෂියාව පිළිබඳව දැන ගැනීමට මෙන්ම එය වළක්වා ගැනීමට කළ හැකි දේ පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබට ලංකා ඇල්ෂයිමර් පදනම සමඟ සම්බන්ධ විය හැක. 

ඩිමෙන්ෂියාව dementia
dementia රෝග ව්‍යාප්තියේ නුදුරු අනාගත සමාලෝචනය – https://www.openaccessgovernment.org

මුලාශ්‍ර:-

  • optometrists.org
  • bbc.com/sinhala
  • who.int
  • slcpsych.lk

G.C.P Psychology Lips || Diploma in Psychology & Counselling || Certified Mental Health Supporter & Ambassador || Certified Trainer

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top