Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

Header OCD Beachside 1400x1400 3 e1672756867844

“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?”

ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති!

ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි?

මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමිකතාව (Obsessive Compulsive Disorder – OCD) නැතිනම් ග්‍රස්ථිය නියුරෝෂියාව ලෙස මෙම තත්වය හදුන්වනු ලබයි. මෙහිදී ‘ග්‍රස්ථිය’ යනුවෙන් හදුන්වන්නේ නැවත නැවත ඇතිවන සිතුවිලි හා ආවේගයන් වේ. සරලව පැහැදිලි කළහොත් මෙහිදී සිදුවන්නේ එකම ක්‍රියාකාරකම අනවශ්‍යය ලෙස කිහිපවරක් පුනපුනා සිදු කිරීමයි. එබැවින් මෙම රෝගී තත්වයෙන් පෙළෙන්නන් එම සිතුවිලි උදාසීන කර ගැනීම සදහා විවිධ ක්‍රියාකාරම් තුළ අධික ලෙස නියැලෙති.

ග්‍රස්ථිය නියුරෝෂියාව ප්‍රධානව කොටස් දෙකක් ඔස්සේ සිදුවේ. එනම්,

1. කරදරකාරී සිතුවිලි ඇති වීම (Obsessions)

මෙහිදී ඇති වන මෙම කරදරකාරී සිතුවිලි වල අන්තර්ගතය පුළුල් ලෙස වෙනස් විය හැක, නමුත් පොදුවේ ඇති වන සිතුවිලි කිහිපයක් පහත දක්වා ඇත.

  • අපිරිසිදුකමට හෝ අපිරිසිදු වීමට ඇති බිය.
  • අසාමාන්‍ය පිළිවෙල. (Over Neatness)
  • වැරදීමකින් ඔබගෙන් ඔබට හෝ ඔබගෙන් අන් අයට හානියක් සිදුවේ යැයි බිය. (උදා:- හීටරය ක්‍රියාත්මක කිරීම නිසා නිවස ගිනි ගනී යැයි බිය.)
  • සාමාජීය වශයෙන් සිදු නොකළ යුතු ක්‍රියාකාරම් සිදු කිරීමට සිත් වීම. (උදා:- ප්‍රසිද්ධ ස්ථානයකට ගොස් ශබ්ද නඟා කෑ ගැසීම.)
  • අනවශ්‍යය දේවල් පිළිබඳව සිතීම. (උදා:- අහසේ අවසන් කෙළවර කොහේද?)
  • සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික සිතුවිලි.
  • ප්‍රචණ්ඩකාරී සහ වරදකාරී සිතුවිලි.

2. සිතුවිලි වලට අනුරූපගතව ඇති වන ක්‍රියාකාරකම් (Compulsions)

මෙහිදී සිදුවන්නේ රෝගී පුද්ගලයා තුළ ඇතිවන කරදරකාරී සිතුවිලි අවම කර ගැනීමට හෝ වළක්වා ගැනීමට දරන වෑයමකි. එසේ ඇති වන සිතුවිලි උදාසීන වන තුරු කිහිපවරක්ම එම ක්‍රියාකාරකම් වල අධිකව නිරත වේ. එසේ ග්‍රස්ථිය නියුරෝෂියාව වැළදුනු පුද්ගලයෙක් විසින් සිදු කරනු ලබන පොදු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වා ඇත.

  • තම දෑත්, දෙපා සහ අවට ඇති බඩුමුට්ටු නිතර සේදීම.
  • නිෂ්චිත අනුපිළිවෙලක් ඔස්සේ ක්‍රමානුකූලව අහාර ගැනීම.
  • තමන් විසින් අන්අයට හානියක් කර නොමැති බව පරීක්ෂා කිරීම.
  • වසා ඇති දොරවල්, අගුළු සහ උදුන් නැවත නැවත වසා ඇති දැයි පරික්ෂා කිරීම.
  • යම් කාර්යයක නිරත වන අතර වාරයේ ගණන් කිරීම හෝ යාච්ඤා කිරීම හෝ එකම වචනයක් පුනපුනා  උච්චාරණය කිරීම.
  • තමා ආදරය කරන පුද්ගලයෙක් කරදරයක වැටී ඇති බවට මනෝ රූප මවා ගනිමින්, එම පුද්ගලයාගෙන් ඒ බව නිතර නිතර විමසීම.
  • මූල්‍යය වටිනාකමක් නොමැති දේ එකතු කිරීම හෝ එකම අයිතමය කිහිප වරක් මිලදී ගැනීම.
ග්‍රස්ථිය නියුරෝෂියාව
දෑත් නිතර සේදීම – https://www.athmahospitals.com

O.C.D ඇති වීමට හේතු

මෙම අක්‍රමිකතාව ඇතිවීමට හේතුව කුමක්ද යන්න තවම නිශ්චිතව හදුනාගෙන නොමැති නමුත් O.C.D ඇති වීමට හේතු විය හැකි අවදානම් සාධක කිහිපයක් විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇත. ඒවා නම්,

  • ජාන වල බලපෑම.
  • විවිධ පාරිසරික හේතූන්.
  • මොළයේ ඇතැම් ප්‍රදේශවල අක්‍රමවත් වර්ධනය සහ දුර්වලතා.

මීට අමතරව මානසික අවපීඩනය (Depressive Disorder), සමාජ කාංසාව (Social Anxiety), ආහාර අක්‍රමිකතා (Eating Disorders), අවධානය හිඟ වූ අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (Attention Deficit Hyperactivity Disorder – ADHD) යන මානසික ආබාධ ද ග්‍රස්ථිය නියුරෝෂියාව ඇතිවීම සඳහා අවදානම් සාධක වේ.

ග්‍රස්ථිය නියුරෝෂියාව සඳහා ප්‍රතිකාර

O.C.D සඳහා ප්‍රතිකාර කිරීම ඉතා ඵලදායී මට්ටමක පවතින අතරම ප්‍රතිකාර ලබන බොහෝ දෙනා පූර්ණ සුවය ලබන බවට ද වාර්තා වේ. මෙහිදී ග්‍රස්ථිය නියුරෝෂියාව සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ මෙන්ම මනෝ චිකිත්සාව ද යොදා ගැනේ.

ඖෂධ ලෙස, O.C.D රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා Serotonin reuptake inhibitors (SRIs) ඖෂධය භාවිතා කරන අතර SSRIs වල බලපෑම වැඩි කළ හැකි Aripiprazole (Abilify) හෝ Risperidone (Risperdal) වැනි මනෝවිරෝධක ඖෂධ ද යොදා ගැනේ. මීට අමතරව තවත් ඖෂධ වර්ග කිහිපයක්ම ප්‍රතිකාර සඳහා මනෝවෛද්‍යවරුන් විසින් යොදා ගැනේ.

මනෝ චිකිත්සක ක්‍රම ලෙස ප්‍රධාන වශයෙන් සංජානන හැසිරීම් චිකිත්සාව (Cognitive Behavioral Therapy – CBT), නිරාවරණය සහ ප්‍රතිචාර වැළැක්වීමේ (Exposure and Response Prevention – ERP) චිකිත්සාව සහ සිහිකල්පනාව මත පදනම් වූ සංජානන චිකිත්සාව (Mindfulness-based cognitive therapy) යන චිකිත්සක ක්‍රමවේදයන් යොදා ගැනේ.

O.C.D සමඟ කටයුතු කිරීම

ඔබ ග්‍රස්ථිය නියුරෝෂියාව අක්‍රමිකතාවයට මුහුණපා සිටින අයෙක් නම් ඔබ පළමුව O.C.D සඳහා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් පළපුරුද්ද ඇති චිකිත්සකවරයෙකු හමු විය යුතුය. එහිදී අදාල සායනයන්ට පෙනී සිට ඔබට නිර්දේශිත ඖෂධ ක්‍රමානුකූලව ලබා ගත යුතුය. එවිට ඔබේ ආතති හැගීම් ලිහිල් කර ගැනීම සඳහා උදව් වේ. මීට අමතරව, හුස්ම ගැනීමේ අභ්‍යාස, භාවනා ක්‍රම සහ සිහිය පිහිටුවා ගැනීම සඳහා වූ ක්‍රම ශිල්ප ද භාවිතා කළ හැක.

ග්‍රස්ථිය නියුරෝෂියාව

දැනුමට යමක් – වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබට ඖෂධ නියම කර ඇත්නම් පහත සඳහන් කරුණු පිළිබඳවද අවධානය යොමු කිරීමට වග බලා ගන්න.

  • ඔබේ චිකිත්සකවරයා අනුමත කරන තුරු ඖෂධ ලබා ගැනීම නතර නොකරන්න. එසේ ඖෂධ ගැනීම හදිසියේ ඔබ විසින් නතර කළහොත් O.C.D රෝග ලක්ෂණ අයහපත් තත්වයට පත් වීමට ඉඩ ඇත. නැතිනම් රෝගය යම්තාක් දුරට සුවවී ඇත්නම් නැවත ඇති විය හැක.
  • යම් කිසි අතුරු ආබාධයක් ඇති වුවහොත් වහාම ඔබේ චිකිත්සකවරයාව හමු වන්න.

මෙම ග්‍රස්ථිය නියුරෝෂියාව රෝගී තත්වය මනාව පිළිබිඹු කරමින් අපේ රටේ නිර්මාණය වූ අග්‍රගණ්‍ය චිත්‍රපටයක් ලෙස කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ විසින් නිර්මාණය කළ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය පෙන්වා දිය හැක.

මුලාශ්‍ර:-

G.C.P Psychology Lips || Diploma in Psychology & Counselling || Certified Mental Health Supporter & Ambassador || Certified Trainer

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top