Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10

මෘදුකාංග ඉංජිනේරු

ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධි වර්ධනයට හෝ පුදුම නිර්මාණයක් සිදුකිරීම සඳහාත් මෙම හැකියාව අවශ්‍ය වෙනවා. ඉතින් ඔබත් ඔබේ  ප්‍රෝග්‍රැමිං චාරිකාව යන්න කැමැත්තෙන් පසු වෙනවා නම්, පහත දැක්වෙන කරුණු සම්බන්ධව අවධානය යොමු කරලා ඔබේ නිවැරදි ඉදිරි පියවර තබන ලෙස ආරාධනා කර සිටිනවා.

ලෝකයේ බිහිවුණු පළමු පරිගණක මෘදුකාංග ක්‍රමලේඛිකාව තමයි Ada Lovelace  කියලා හඳුන්වන්නේ. ඔබ ඇය ගැන දැනගැනීමට කැමතියි නම් පහත ලිපිය කියවන්න.

10. හඳුනාගන්න. – “ඇයි ඔබට ප්‍රෝග්‍රැමිං අවශ්‍ය වෙන්නෙ?”

ඔබ ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙන්න යන ගමනේදී ඇයි ඔබ මෘදුකාංග කේතකරණයේ යෙදීමට කැමැත්තක් දක්වන්නේ යන්න සහ කේතකරණය ඉගෙනීම සඳහා ඔබට කොපමණ වේලාවක් වැය කළ හැකිද යන කරුණු දෙක සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබට වෘත්තීමය ප්‍රෝග්‍රැමර් කෙනෙකු වීමට අවශ්‍ය නම් පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඔබගේ පාසලේ හෝ අධ්‍යාපන ආයතනයේ ඇති මෙම විෂයට අදාල පාඨමාලා හැදෑරිය යුතුයි. (Google has a list of suggested skills and courses for would-be software engineers.)

සමහරවිට ඔබ කැමති වේවි ඔබේම වෙබ් අඩවියක්, මෘදුකාංගයක් හෝ ගේම් එකක් නිර්මාණය කිරීමට. එය ඔබගේ විවේකී කාලය ඵලදායී කාර්යයකට යොමු කරනවා වගේම අමතර ආදායමකුත් ඔබට උපයා ගැනීමට හැකි වේවි.

9. ගැලපෙන ක්‍රමලේඛ භාෂාව තෝරාගන්න.

හොඳම ක්‍රමලේඛ භාෂාව (Programming Language) කියලා එකක් නම් නැහැ. නමුත් ඔබ එම භාෂා වලින් එකක් ඉගෙන ගත යුතුයි. හැබැයි එහෙම කියලා මම අහවල් භාෂාවම තමයි ඉගෙන ගන්නේ කියල හිතන්නත් එපා. සමහරවිට ඔබ තෝරාගන්නා පළමු භාෂාවට වඩා ආධුනිකයන්ට ඉගෙනීමට පහසු භාෂාවන් තිබිය හැකියි. ඒ වගේම මම ඉගෙන ගන්න භාෂාව තමයි සුපිරිම එක කියලා හිතන්න යන්නත් එපා.

ඒ වගේම ඔබ ඉගෙන ගැනීමට සූදානම් වන භාෂාව තෝරාගැනීමට ඔබේ අවශ්‍යතාවයත් බලපානවා. උදාහරණයක් වශයෙන් ඔබ iOS app එකක් ලිවීමට සූදානම් වෙනවා නම්, ඔබ  Swift පිළිබඳව ඉගෙන ගත යුතුයි.) හැබැයි ඔබ ප්‍රෝග්‍රැමිං ගැන සිරාවටම හිතන කෙනෙක් නම් C පරිගණක භාෂාව පළමුවෙන්ම හැදෑරීම හොඳයි කියලා රෙකමදාරු කරන්න පුළුවන්.

8. ලොකුවට නැතුව පොඩියට පටන් ගන්න.

ඔබ තෝරාගන්නා ක්‍රමලේඛන භාෂාව හෝ ඉගෙනගන්නා ක්‍රමවේදය මොකක් උනත් ඔබ එම භාෂාව ඉගෙනීම ආරම්භ කළ යුත්තේ මුල සිටයි. එහෙම නැතුව යාලුවො අතරේ පොරක් වෙන්න හිතාගෙන ඉන්ටනෙට් එකේ සර්ච් කරලා හොයාගත්තු කෝඩ් එකක් භාවිතා කරලා හදපු සොෆ්ට්වෙයා එකකින් ඔබව නියම මෘදුකාංග ඉංජිනේරුවෙක් බවට පත් කරන්නේ නැහැ. ඒ සඳහා අදාළ භාෂාව මුල සිට පියවරෙන් පියවර හදාරන්න ඕනෙ. ඊළඟට පුංචි සරල වැඩසටහන් නිර්මාණය කරලා, ටිකෙන් ටික ලොකු පරිගණක වැඩසටහන් සකසන මට්ටමට ඔබට එන්න හැකි වේවි.

ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද?

7. ළදරුවෙක් වගේ වැඩ කරන්න.

සමහර වෙබ් අඩවි හෝ ඇප්ස් මඟින් කුඩා දරුවන්ගේ පරිගණක ක්‍රමලේඛන හැකියාවන් වැඩිදියුණු කිරීම සිදු කරනවා. ඒක තියෙන්නෙ ලදරුවන්ට කියලා ඔබ නිකන්ම ඉන්න එපා. ඒ වගේ වැඩසටහන් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කොහොමද සරලම විදිහට පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා සහ මූලික සිද්ධාන්ත වගේ දේවල්. ඒක අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්නේ. ඔන්න එහෙනම් මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්නකෝ කොහොමද ඉගෙන ගන්න පුළුවන් කියලා. https://scratch.mit.edu/

6. අන්තර්ජාලයේ තිබෙන නොමිලේ පුහුණුව ලබා දෙන වෙබ් අඩවි වල සහාය ලබා ගන්න.

ඔබට නොමිලේ මෘදුකාංග ක්‍රමලේඛනය කියා දෙන වෙබ් අඩවි තිබෙනවා. එවැනි වෙබ් අඩවි වල සහයෝගය උපරිමයෙන් ලබා ගැනීමට මතක තබාගන්න. ඒ අතර Codecademy සහ Hour of Code participants උදාහරණයක් විදිහට ඔබට හඳුන්වා දෙන්නම්. මේ වෙබ් අඩවි භාවිතා කරලා ඔබේ පළමු පරිගණක වැඩසටහන නිර්මාණය කිරීමටත් ඔබට හැකිවේවි. මේ වගේ වෙබ් අඩවි වල ඇති අධ්‍යාපනික ලිපි (Tutorials) ඔබට මූලික පරිගණක ක්‍රමලේඛ ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් දැනුමක් ලබා දීමට සමත් වේවි. නමුත් මෙම හඳුන්වාදීමේ පාඩම් මාලාවන් වලින් නොනැවතී ඔබ ඉදිරි පියවරයන් ඉගෙනීම සඳහා නිසැකවම යොමු වීම අවශ්‍යයි.

පරිස්සමට පරිහරණය කළ යුතු, ගැඹුරු අන්තර්ජාලයේ ඔබ නොදත් රහස් – DEEP WEB

5. මෘදුකාංග ක්‍රමලේඛනය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න.

මෘදුකාංග නිර්මාණය සම්බන්ධයෙන් කොච්චර ඔන්ලයින් පාඨමාලා හැදෑරීම සිදු කළත් සමහරවිට නිවැරදි ආකාරයට අපි තෝරාගත් පරිගණක භාෂාව ඉගෙනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තෝරාගන්නා ලද පරිගණක භාෂාවට අදාළව පාඨමාලාවක් හැදෑරීම වැදගත් වේවි. උදාහරණයක් විදිහට ඔබ තෝරාගත් භාෂාව ජාවා පරිගණක භාෂාව නම් එයට අදාල පාඨමාලාවක් අනිවාර්යෙන්ම හදාරන්න. එම පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන සහතිකයත් අනාගතයේදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

හැබැයි ඉතින් කෝස් එකක් කරන්න ඕනෙ කියලා හොයලා බලන්නෙ නැතිව අහුවෙන තැනක පොඩි කෝස් එකක් කරලා මූලික කරුණු ටික විතරක් ආපහු ඉගෙනගෙන එන්න එපා. ගාස්තුව නම් ඉතින් ටිකක් වැඩිපුර ගියත් ඒක අනාගත ආයෝජනයක් කියලා හිතලා හොඳ පිළිගත් ආයතනයක පාඨමාලාවක් හදාරන එක නම් අතිශය වැදගත් වෙනවා.

ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද?

4. නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න

අන්තර්ජාලයේ සැරිසරන විට පරිගණක මෘදුකාංග ක්‍රමලේඛ ශිල්පයට අදාළ පොත් (ඊ-බුක්) දහස් ගණනක් ඔබට සොයාගැනීමට අපහසු වෙන්නෙ නෑ. ඒව තියෙන්නෙ ඉතින් කඩ්ඩෙන් තමයි. මේ සම්බන්ධව ඇති සිංහල පොත් පත් අඩුයි වගේම ඒවායේ ඇති තොරතුරු ඉත්මණින් යාවත්කාලීන නොවීමත් ගැටලුවක් විදිහට පවතිනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණත් තේරුම් ගැනීමට එතරම්ම බාධාවක් නොවන බව ටිකක් කියවන විට ඔබටත් දැනේවි. නොමිලේ බාගත කරගන්න පුළුවන් පොත් නිසා වියදමක් යන්නෙත් නැහැනේ.

3. කෝඩිං ගේම් එකක් සෙල්ලම් කරන්න.

අනිවාර්යෙන්ම ගොඩක් දෙනෙක් පරිගණක ක්‍රිඩා වල යෙදීමට කැමතියි. කොහොමට තියේවිද වාහන රේස්, වෙඩි තැබීම්, මිනී මැරීම් සහිත ගේම් එකක් සෙල්ලම් කරනවට වැඩිය පරිගණක කේත වලින් ගේම් එකක් ගැහුවොත්? ඒකෙන් ඔබට විනෝදාස්වාදයකට අමතරව දැනුමක් සහ හැකියාවන් වර්ධනය වීමකුත් සිදු වෙනවා. ගේම් ගහලා කාලෙ කනවා කියලා අම්මල ඔයාට බනින්නෙත් නැතිවේවි එතකොට. මේ තියෙන්නෙ ඒ වගේ ගේම් වලට උදාහරණ දෙකක්.

2. තව කෙනෙක්ට කියලා දෙන්න.

ඔබ ඉගෙන ගත්තු දේවල් තව ඉගෙන ගන්න කැමති ආධුනික ප්‍රෝග්‍රැමර් කෙනෙක්ට කියලා දෙන එක ගොඩක් වටිනවා. මේ සඳහා ඔබට ෆෝරම් වෙබ් අඩවි සමඟ සම්බන්ධ වීම ඉතා වැදගත් වේවි. ඔබ ඊළඟ පරම්පරාවට ඔබේ දැනුම දෙන අතරේ ඒ වගේ තැන් වල සාකච්ඡා සඳහා සහභාගී වන ප්‍රවීනයන්ගේ උපදෙස් ලබා ගැනීමටත් ඔබට හැකි වෙනවා.

හිතන්න ආධුනිකයෙක් කිසියම් කේතයක් ගැන ප්‍රශ්නයක් විමසා තිබෙන අවස්ථාවක් ගැන. ඔබ එම ප්‍රශ්නයට පිළිතුර දන්නවා නම් කෙලින්ම පිළිතුරු දිය හැකියි. එසේත් නැත්නම් පොත් පත් හෝ වෙබ් අඩවි ගවේශනය කර එම පිළිතුර සොයා ගැනීමට හැකියි. නොඑසේනම් ප්‍රවීණයෙකු පිළිතුරු දෙනතෙක් රැඳී සිටිය හැකියි. මේ සියල්ලෙන්ම සිදුවන්නේ ඔබගේ දැනුම වර්ධනය වීම බව ඔබට වැටහෙනු ඇති.

1. කාගෙහරි කෝඩ් එකක් හැක් කරන්න.

ගොඩක් අය හැක් කරනවා කිව්වම විශාල උනන්දුවක් දක්වනවා. හැක් කරන එක තමයි ප්‍රෝග්‍රැමිං කියලත් විශ්වාස කරගෙන ඉන්න සමහරු ඉන්නවා. මෙතනදි සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ reverse Engineering සම්බන්ධවයි.

මෘදුකාංග ඉංජිනේරු

ඒ කියන්නේ ඔබේ මිතුරෙක් සකස් කරන පරිගණක මෘදුකාංගය ඔබ ඉල්ලා ගන්න. එහි මූලාශ්‍ර කේත ඔහු වෙතම තිබෙන්නට හරින්න. දැන් ඔබ විසින් ඔබේ මිතුරාගේ වැඩසටහන ක්‍රියාත්මක වීමට යොදාගන්නා ලද කේත සම්බන්ධව උපකල්පනය කිරීම අවශ්‍යයි. ඒ අනුව මිතුරා සකස් කළ වැඩසටහන ඔබේ කේතයන් භාවිතයෙන් සකසා එම වැඩසටහන මිතුරාගේ වැඩසටහන සමඟ සංසන්දනය කරන්න. මේ ආකාරයට සිදු කිරීමෙන් ඔබේ පරිගණක කේතකරණ දැනුම නිසැකවම වර්ධනය වේවි.

එසේනම් මේ ලිපිය කියවීමෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට ඔබ සතුව පවතින සිහිනය යතාර්ථයක් කරගැනීමට පුංචි හෝ උපදෙසක් ලැබෙන්න ඇති. එහෙනම් යාලුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top