Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා

1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය. දිනක් අළුතින් ඉදිකරමින් පැවති මෙම දුම්රිය මාර්ගය අහුරමින් විශාල ගල් පර්වතයක් ගේජ් ඇතුළු පිරිසට හමු විය. මෙය ඔවුනට විශාල අභියෝගයක් වූ නිසාවෙන් ඔවුන් මෙම පර්වතය පුපුරවා හැරීමට තීරණය කළේය.

ෆීනියාස් ගේජ් ට වෙච්ච වැඩේ

එහිදී ගේජ් සහ ඔහුගේ සගයින් ගලෙහි ගැඹුරු සිදුරක් විද ගේජ් ටැම්පින්  යකඩ දණ්ඩක් ආධාරයෙන් සිදුර වෙත වෙඩි බෙහෙත් පුරවනු ලැබීය. එසේ පුරවන අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස යකඩ දණ්ඩේ ඝර්ෂණය නිසා ඇති වූ ගිනි පුපුරු හේතුවෙන් වෙඩි බෙහෙත් ගිණි අල්ලා මහත් පිපුරුමක් ඇති වන්නට විය. පිපුරුම හේතුවෙන් අඩි 3 යි අඟල් 7ක් දිග රාත්තල් 13¼ (6kg) බරින් යුත් කෙළවරක විෂ්කම්භය අඟල් 1 1/4 ක් වූ ටැම්පින්  යකඩ දණ්ඩ ගේජ්ගේ වම් කම්මුල පසාරු කර, වම් ඇස පිටුපසින් හිස් කබල හා මොළය හරහා හිස් මුදුන සිදුරු කරමින් ඔහුට අඩි 80ක් ඈතින් පතිත විය.

වෛද්‍ය එඩ්වඩ් එච්. විලියම්ස්, ෆීනියාස් ගේජ්ගේ හිස් මුදුන දෙස බලන විට මොළෙහි ඇතිවන ස්පන්දන පැහැදිලිව දැක ගන්නට හැකි වූ බවත් හිස් මුදුන පුනීලයක් ආකාරයට සිදුරු වී ඇති බවටත් වරෙක වාර්තා කර ඇත.

පුදුමය දනවන කරුණ නම් මෙතරම් මාරාන්තික තුවාලයක් වී මිනිත්තු කිහිපයකට පසුව ඔහු කම්කරුවන් සමඟ ප්‍රතිචාර දැක්වීමට පටන් ගැනීමයි! එහිදී වහා ක්‍රියාත්මක වූ ගේජ්ගේ සගයින් ඔහුව ජෝසප් ඇඩම්ස් විසින් පවත්වාගෙන ගිය හෝටලයට ගෙන ගොස් තබා ළගපාත සිටි වෛද්‍යවරයා වූ ජෝන් මාර්ටින් හාර්ලෝ කැදවා ගෙන එන ලදී.

පසුව වෛද්‍යවරයා ප්‍රතිකාර කරන අතරවාරයේ ගේජ් සිය සගයින් සමඟ ඉතාමත් පැහැදිලිව තමාට උනු කරදරය පිළිබඳව කතාබහ කළේය. වෛද්‍ය හාර්ලෝගේ සාර්ථක ප්‍රතිකාර හමුවේ සති 10 කට පසුව ගේජ්ගේ තත්වය යහපත් ලෙස වර්ධනය වූ අතර අවසානයේ සිය නිවස කර ආපසු පැමිණියේය.

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
ෆීනියාස් ගේජ් අනතුර සිදු වූ යකඩ දණ්ඩ අතැතිව –  www.britannica.com

අනතුරින් ටික කාලෙකට පස්සෙ

අනතුරින් මාස කිහිපයකට පසු, එනම් 1849 මැද භාගයේදී ෆීනියාස් නැවත සිය රාජකාරි ආරම්භ කිරීමට තරම් ශක්තිමත් විය. නමුත් අනතුරින් පසුව මෙම නිහඬ, කුලෑටි කරුණාවන්ත පුද්ගලයා, ඝෝෂාකාරී කලහකාරී බවින් යුතු ආවේගකාරී ක්ෂණික තීරණ ගන්නා පුද්ගලයෙක් බවට පත් වීම නිසා, ඔහුගේ සගයින් පවසන ලද්දේ ‘ඔහු තවදුරටත් ගේජ් නොවන’ බවයි. මේ හේතූන් නිසාවෙන් ඔහුගේ පුරුදු රැකියාවද ඔහුට අහිමි විය.

පසුව ඔහු තැනින් තැන ඉබාගාතයේ ඇවිදින්නෙකු වූ අතර අවුරුදු 8 කට පසුව තමාගේ පෞර්ෂය වෙනතකට පෙරළු යකඩ දණ්ඩද රැගෙන දකුණු ඇමරිකාවේ චිලී ප්‍රදේශයේ ඉදිකරමින් පැවති නව දුම්රිය මාර්ගයේ සේවයට බැදීමට ගිය බවට ද වාර්තා වේ. එහෙත් බලධාරීන් ඔහුව සේවයට බදවා ගැනීම ප්‍රතික්‍ෂේප කළහ. පසුව ඔහු 1859 දී පමණ චිලී ප්‍රදේශයේ සිට කැලිෆෝනියාවට පිටත්ව ගොස්, සැන්ටා ක්ලාරා හි කුඩා ගොවිපලක කෙටි කාලයක් සේවය කළේය. මේ අන්දමින් වසර 12ක කාලයක් ගෙවූ ෆීනියාස් 1860 වර්ෂයේදී අපස්මාරය නිසාවෙන් මිය ගියේය.

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
අනතුර සිදු වූ ස්ථානයේ තබා ඇති ස්මාරකය – www.dpnow.com

මරණයෙන් වසර 07 කට පසු ගේජ්ගේ සිරුර ගොඩගන්නා ලද අතර ඔහුගේ සහෝදරයා විසින් ගේජ්ගේ හිස් කබල සහ ටැම්පින් යකඩ දණ්ඩ වෛද්‍ය හාර්ලෝ වෙත ලබා දුන් අතර පසුකාලීනව වෛද්‍ය හාර්ලෝ විසින් ඒවා හාර්වඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත පරිත්‍යාග කළේය. ඒවා අදටත් එහි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
හාර්වඩ් විශ්ව විද්‍යලයේ ප්‍රදර්ශනයට තබා ඇති ගේජ්ගේ හිස් කබල සහ යකඩ දණ්ඩ – https://imgur.com

ෆීනියාස් ගේජ් මුහුණ දුන් මාරාන්තික අනතුර යන කාරණය එසේ තිබියදී, අපි අනතුර නිසාවෙන් ඔහුගේ පෞර්ෂයේ මතුවූ වෙනස් වීම පිළිබද මනෝවිද්‍යාත්මක මතය සලකා බලමු.

අනතුරින් පසුව ෆීනියාස් ගේජ්ගේ හැසිරීම සාමාකාමී ප්‍රසන්න තත්වයේ සිට ආවේගකාරී නොසන්සුන් තත්වය දක්වා වෙනස් වූ අතර ක්ෂණික තීරණ ගන්නා පුද්ගලයෙක් බව‍ටද ගෙජ් පත් විය. මෙම තත්වයන් පාදක කොට ගනිමින් විවිධ පර්යේෂණයන් කිහිපයක් 1994, 2004 සහ 2012 වර්ෂ වලදී සිදු විය.

මේ ගැනත් කියවන්න – ඊ-දුම්වැටි (E-CIGARETTE) ගැන මේ දේවල් දැනුවත් ද?

ෆීනියාස් ගේජ් ගේ හිස් කබල ගැන විවිධ පර්යේෂණ

1994 වර්ෂයේදී සිදු කරන ලද අධ්‍යයනයේදී, පර්යේෂකයෝ ගේජ්ගේ හිස් කබල ස්නායු ප්‍රතිරූපණ ශිල්පීය ක්‍රම භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කර යකඩ දණ්ඩ ඇතුල්වීමේ සහ පිටවීමේ ලක්ෂ්‍යයන් නිවැරදිව ස්ථානගත කළහ. ඔවුන්ගේ මෙම අධ්‍යනය මගින් පෙනී ගියේ, ගේජ්ගේ මොළයේ වම් සහ දකුණු ප්‍රෙෆ්‍රන්ටල් බාහිකයන් දෙකටම හානි වී ඇති අතර එමගින් චිත්තවේගීය සැකසුම් සහ තාර්කික තීරණ ගැනීමේ ගැටළු ඇතිවන්නට ඇති බවයි.

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
ස්නායු ප්‍රතිරූපණ ශිල්පීය ක්‍රම මගින් ප්‍රතිනිර්මාණය කළ ගේජ් ගේ හිස් කබල – www.simplypsychology.org

2004 වර්ෂයේදී ෆීනියාස් ගේජ්ගේ තුවාලයේ ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සදහා පර්යේෂකයෝ එවකට තිබූ උසස් තාක්‍ෂණ ක්‍රමවේදයක් වන ටොමොග්‍රැෆි ස්කෑන් (CAT) තාක්‍ෂණය භාවිතා කර හිස්කබල ප්‍රතිනිර්මාණය කළහ. එහිදී අනාවරණය වූයේ ගේජ්ගේ තුවාලයේ ප්‍රමාණය මොළයේ ඉදිරිපස වම් ප්‍රදේශයට පමණක් සීමා වී ඇති බවයි.

ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
CAT තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කළ ගේජ් ගේ හිස් කබල – www.simplypsychology.org

2012 වර්ෂයේදී වෑන් හොර්න් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයන් මඟින් හෙළි වී ඇත්තේ ෆීනියාස් ගේජ්ගේ අනතුර හේතුවෙන් ඔහුගේ මොළයේ ශ්වේත ද්‍රව්‍යය වලට මෙන්ම ධුසර ද්‍රව්‍යය වලටද හානි වී ඇති බවයි. වෑන් හොර්න් මේ පිළිබද වැඩි දුර අධ්‍යනයන් සිදු කරන විට ඔහු විසින් අනාවරණය කර ගත්තේ ගේජ්ගේ මොළයේ ඉදිරිපස ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍යයෙන් 11% ක් සහ ධූසර ද්‍රව්‍යයෙන් 4% ක් පමණ ගේජ්ට අහිමි වූ බවයි. පසුව ඔහු විසින් යෝජනා කරන ලද්දේ ගේජ්ගේ මොළයේ ශ්වේත ද්‍රව්‍යය වලට හානි වීම නිසා ඇති වූ විභව වෙනස්කම් හේතුවෙන් ඔහු ඇල්ශයිමර් රෝගය මුල් ආරම්භයේ පසු වූ බවයි.

ස්නායු විද්‍යාව සම්බන්ධ අධ්‍යනයේදී ෆීනියාස් ගේජ් පිළිබදව අනිවාර්යයෙන් සාකච්ඡා කරනු ලබයි. එයට හේතුව වන්නේ මොළයේ ඉදිරිපස ප්‍රදේශය පෞර්ෂය හා සම්බන්ධ වන බවට මුලින්ම අනාවරණය වුයේ මෙම අනතුර නිසාවෙන් වීමයි. වර්තමානය වන විට මොළයේ ඉදිරිපස කොටසින් තර්කානුකූල භාවය, භාෂා භාවිතය සහ සමාජ සංජානනය වැනි ඉහළ පෙළේ කාර්යයන් සිදු කරන බවටද සොයා ගෙන ඇත.

මුලාශ්‍ර:-

www.simplypsychology.org

www.verywellmind.com

www.uakron.edu

G.C.P Psychology Lips || Diploma in Psychology & Counselling || Certified Mental Health Supporter & Ambassador || Certified Trainer

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top