Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

ජල රොකට්ටු ශූරයෝ – අ/ තෝඩාමඩුව විද්‍යාලය – 2023

ජල රොකට්ටු ශූරයෝ 2023

ජලස සහ වාතය භාවිතා කරමින්, ඉවත දමන හිස් බීම බෝතල් මඟින් නිර්මාණය කරන ජල රොකට්ටුවක් සාර්ථක ලෙස මීටර් පනහකට වඩා වැඩි දුරක් ගමන් කළ හැකිය. මෙගා බෝතලයේ 1/3 කට පමණ ජලය පුරවා, බයිසිකලයකට හුලං ගසන පොම්පයක් ආධාරයෙන් තදින් හුලං ගැසීමෙන් ජල රොකට්ටුවක් ධාවනය කළ හැකිය. ඇත්ත වශයෙන් ම මෙම නිර්මාණය විනෝද ජනක එකක් වනවා සේ ම දරුවන් තුළ විද්‍යා සංකල්ප වර්ධනය කිරීමට හොඳ මෙවලමක් ලෙස සැලකිය හැකිය.

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පිහිටි දුෂ්කර පාසලක් වන තෝඩාමඩුව විද්‍යාලය වසර ගණනාවක් විද්‍යා ගුරුවරයෙකු නොමැති පාසලක් ව පැවතුණි. ඒ අතර මෙම වසරේ දී විද්‍යා ගුරුවරයෙකු වශයෙන් මෙම පාසලට පැමිණි ලක්මිණ ජයමාල් මහතා විසින් සිසු දරු දැරියන් තුළ විද්‍යා විෂයට ඇති ඇල්ම වර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරන ලද අතර, “ජල රොකට්ටු ශූරයෝ – 2023” නමින් සංවිධානය කරන ලද ජල රොකට් යැවීමේ තරඟාවලිය ලෝක ළමා දිනය නිමිත්තෙන්, පසුගිය ඔක්තෝම්බර් 02 දින සාර්ථක ලෙස පවත්වන්නට යෙදුණි.

තරඟය සඳහා දැනුවත් කිරීම.

තරඟය පැවැත්වීමට සති දෙකකට පමණ පෙර සිට සිසුන් දැනුවත් කිරීම සිදු කළ අතර, ඒ වන විටත් ජල රොකට්ටුවක් යැවීම පිළිබඳ දරුවන් තුළ පැවතියේ ඉතා අඩු දැනුම් මට්ටමකි. ඒ අනුව තරඟය පැවැත්වෙන දිනය වන විට බොහෝ තාක්ෂණික කරුණු පිළිබඳ ඔවුන් අවුබෝධයෙන් පසුවන බව නිරීක්ෂණය විය.

ජල රොකට්ටු තරඟය 2023

ජල රොකට් යැවීමේ තරඟය පැවැත්වීම

මෙම තරඟය තරඟ ඉසවු දෙකක් යටතේ පැවැත්විණි. පළමුවැන්න වැඩි ම දුරක් ගමන් කළ හැකි රොකට්ටුව තේරීමේ තරඟය වූ අතර දෙවැන්න හොඳ ම නිමාවකින් යුතු රොකට්ටුව තේරීමේ තරඟයයි. මෙහි දී රොකට්ටුව ගමන් කරන උස සම්බන්ධයෙන් නිශ්චිත මැනීමක් සිදු කිරීම අපහසු හෙයින් වැඩිම දුරක් ගමන් කිරීම සම්බන්ධව සළකා බලන ලදි. එමෙන් ම අනාකූල හැඩය නිසි පරිදි සකස් කිරීම, ඇතුල් කරන වාතය අධි පීඩනයට ලක් කිරීමට යොදා ඇති තාක්ෂණය, රොකට්ටුව නිදහස් කිරීමට යොදා ඇති තාක්ෂණය, බාහිර අලංකාරය වැනි සාධක පරීක්ෂාවට ලක් කරමින් හොඳ ම නිමාවකින් යුතු රොකට්ටුව තේරීම සිදු කරන ලදි.

තවත් විද්‍යාත්මක පර්යේෂණයක් ගැන කියවන්න – බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!

ජල රොකට් තරඟය විනිශ්චය මණ්ඩලය
ජල රොකට්ටු ශූරයෝ තරඟයේ විනිශ්චය මණ්ඩලය

2023 ඔක්තෝම්බර් මස 02 දින පැවති ජල රොකට්ටු ශූරයෝ තරඟයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

මෙහි දී තවත් සුවිශේෂ කරුණක් වශයෙන් පස් දෙනෙකුගෙන් යුතු සිසු කණ්ඩායම් වශයෙන් තරඟය පැවැත්වීමයි. එමඟින් දරු දැරියන් තුළ සාමූහික හැඟීම් වර්ධනයද නිරායාසයෙන් සිදු විය. තරඟයේ ජයග්‍රාහකයින් සඳහා පහත දැක්වෙන සහතික පත්‍රය ප්‍රදානය කරන ලදි.

Water Rocket

සහතිපත්‍ර ප්‍රදානය අවස්ථා කිහිපයක්. මෙම අවස්ථාව සඳහා විදුහල්පති එච්.බී. දිසානායක මහතා, පූජ්‍ය කේ. ධම්මින්ද හිමි, විද්‍යා විෂය භාර ආචාර්ය ලක්මිණ ජයමාල් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා ජල රොකට්ටු නිර්මාණය සහ විශේෂ තාක්ෂණික කරුණු ඇතුළත් කරමින් නවීන තාක්ෂණය පිළිබඳ ආර් සී ක්ලාක් ආයතනය මඟින් නිර්මාණය කර ඇති ජල පීඩක රොකට්ටු නම් සමර්පණය මෙතනින් නරඹන්න.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top