Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

චුවිංගම් හැපීම විනෝදයක් ද? මුඛය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැඟවුණු කතාව

Bubble Gum

ක්ෂුද්‍ර ප්ලාස්ටික්/ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) යනු සෑම තැනකම පවතින, මිනිස් ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන කුඩා ප්ලාස්ටික් කැබලි වේ. මෙම කුඩා අංශු, මිනිස් සිරුර තුළට ඇතුළු වීමට හැකි තරමට කුඩා වන අතර, ඒවායේ ප්‍රමාණය මයික්‍රෝමීටර 1 සිට මිලිමීටර 5 දක්වා විහිදේ. මෙම මයික්‍රෝප්ලාස්ටික් අපගේ ආහාර, බීම, ඇඳුම්, පිරිසිදු කිරීමේ උපකරණ, සහ තවත් බොහෝ දෛනික භාවිතයේ පවතින භාණ්ඩවලින් නිකුත් වේ. නවතම අධ්‍යයනයකට අනුව, චුවිංගම් (Chewing Gum) ද මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිකුත් කරන තවත් එක් මූලාශ්‍රයක් බව හෙළි වී ඇත. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ, චුවිංගම් මගින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිකුත් වීම පිළිබඳව සිදු කළ මූලික අධ්‍යයනයක ප්‍රතිඵල සහ එහි විද්‍යාත්මක වැදගත්කම ඔබ පැහැදිලි කිරීමයි.

MicroplasticOnFinger642
මයික්‍රොප්ලාස්ටික් අංශු

2025 මාර්තු 23-27 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ඩියාගෝ හි පැවැත්වුණු ඇමරිකානු රසායන විද්‍යා සංගමයේ (American Chemical Society – ACS) වසන්ත රැස්වීමේදී මෙම අධ්‍යයනය ඉදිරිපත් කරන ලදී. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් (UCLA) හි ඉංජිනේරු විද්‍යා මහාචාර්ය සංජයි මොහන්ති (Sanjay Mohanty) ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු කරන ලද අතර, එයින් හෙළි වූයේ එක් චුවිංගම් කැබැල්ලකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සිය ගණනක සිට දහස් ගණනකට තරම් ප්‍රමාණයක් කෙළ (Saliva) හරහා මුඛයට නිකුත් වන බවයි. මෙම ප්‍රතිඵල, මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳව නව ගැටලු මතු කර ඇත.

අධ්‍යයනයේ පසුබිම

මයික්‍රෝප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වල ඉතා කුඩා කොටස් වන අතර, ඒවා පරිසරයේ සහ මිනිස් සිරුර තුළ ව්‍යාප්ත වී ඇති බව පෙර පර්යේෂණවලින් හෙළි වී තිබේ. මෙම කුඩා අංශු මිනිස් රුධිරය, පෙනහළු, මොළය, සහ ගර්භාෂය වැනි ඉන්ද්‍රියවල පවා හමු වී ඇති අතර, ඒවායේ දිගුකාලීන බලපෑම් තවමත් සම්පූර්ණයෙන් අධ්‍යයනය කර නොමැත.

විද්‍යාඥයින්ට අනුව, මිනිසුන් වසරකට මයික්‍රෝප්ලාස්ටික් අංශු දහස් ගණනක් පරිභෝජනය කරන බව ඇස්තමේන්තු කර ඇත. ආහාර ඇසුරුම්කරණය, ප්ලාස්ටික් බෝතල්, සහ තවත් බොහෝ දෑ මගින් මෙම අංශු ශරීරයට ඇතුළු වේ. එවැනි පසුබිමකදී, චුවිංගම් වැනි බහුලව භාවිතා වන භාණ්ඩයක් මයික්‍රෝප්ලාස්ටික් මූලාශ්‍රයක් ලෙස හඳුනාගැනීම විශේෂ වැදගත්කමක් උසුලයි.

චුවිංගම් යනු රබර් පාදක (Gum Base) සංයුතියකින්, මිහිරිකාරක (Sweeteners), සහ රසකාරක (Flavorings) වලින් සමන්විත වේ. මෙම රබර් පාදකය ස්වභාවිකව (Natural Gum) ශාකමය පොලිමර්, උදාහරණයක් ලෙස චිකල් (Chicle) හෝ වෙනත් ගස්වලින් ලබාගත් ද්‍රව්‍ය වලින් හෝ කෘත්‍රිමව (Synthetic Gum) ඛනිජ තෙල් පදනම් කරගත් පොලිමර් වලින් සෑදිය හැකිය. මෙම අධ්‍යයනයේදී, පර්යේෂකයන් උපකල්පනය කළේ කෘත්‍රිම චුවිංගම්වල ප්ලාස්ටික් සංයුතියක් ඇති බැවින් එවැනි ගම්වලින් වැඩි මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණයක් නිකුත් වනු ඇති බවයි. එහෙත්, ප්‍රතිඵල ඔවුන්ගේ අපේක්ෂාවන්ට පටහැනි විය.

පර්යේෂණ ක්‍රමවේදය

මෙම මූලික අධ්‍යයනයේදී, වෙළඳපොළේ ලබාගත හැකි කෘත්‍රිම චුවිංගම් වර්ග 5ක් සහ ස්වභාවික චුවිංගම් වර්ග 5ක් යොදා ගන්නා ලදී. මිනිසුන්ගේ හැපීමේ රටා (Chewing Patterns) සහ කෙළ සංයුතියේ වෙනස්කම් අවම කිරීම සඳහා, එක් පුද්ගලයෙකු විසින් සෑම ගම් වර්ගයකින්ම කැබලි 7 බැගින් හැපිම සිදු කරන ලදී. පර්යේෂණාගාරය තුළදී, එක් කැබැල්ලක් විනාඩි 4ක් සැපීම සිදු කළ අතර, එම කාලය තුළ තත්පර 30කට වරක් කෙළ නියැදි ලබා ගන්නා ලදී. අවසානයේදී, පිරිසිදු ජලයෙන් මුඛය සේදීමෙන් (Mouth Rinse) ලබාගත් නියැදිය ද එම කෙළ සමූහයට එකතු කරන ලදී. තවත් එක් පරීක්ෂණයකදී, විනාඩි 20ක කාලයක් තුළ නියමිත වේලාවන්හිදී කෙළ නියැදි ලබා ගනිමින්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිකුත් වීමේ වේගය (Release Rate) අධ්‍යයනය කරන ලදී.

ChewingGum642

මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණය මැනීම සඳහා, නියැදිවල ඇති ප්ලාස්ටික් අංශු රතු පැහැයෙන් තැවරීමෙන් (Staining) පසු අන්වීක්ෂයක්අන්වීක්ෂයක් යොදා ගනිමින් ගණනය කරන ලදී. ඒවායේ රසායනික සංයුතිය හඳුනා ගැනීමට Fourier-transform Infrared Spectroscopy (FTIR) තාක්ෂණය භාවිතා කරන ලදී. මෙම උපකරණ මගින් මයික්‍රෝමීටර 20කට වඩා විශාල අංශු පමණක් හඳුනාගත හැකි වූ බැවින්, ඊට කුඩා (Nano-sized) අංශු හඳුනාගැනීමට නොහැකි විය.

ප්‍රතිඵල

අධ්‍යයනයෙන් හෙළි වූයේ, එක් ග්‍රෑම් එකක චුවිංගම් කැබැල්ලකින් සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 100ක් පමණ නිකුත් වන බවයි. එහෙත්, ඇතැම් ගම් කැබලිවලින් ග්‍රෑම් එකකට අංශු 600ක් දක්වා නිකුත් විය. සාමාන්‍ය චුවිංගම් කැබැල්ලක බර ග්‍රෑම් 2 සිට 6 දක්වා වන බැවින්, විශාල කැබැල්ලකින් මයික්‍රෝප්ලාස්ටික් අංශු 3000ක් දක්වා නිකුත් විය හැකිය. මිනිසෙකු වසරකට කුඩා චුවිං ගම් කැබලි 160-180ක් පමණ භාවිතා කරන්නේ නම්, එයින් මයික්‍රෝ ප්ලාස්ටික් අංශු 30,000ක් පමණ ආහාරයට ගැනීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ ගණන් බලති.

අපේක්ෂා කළ පරිදි, කෘත්‍රිම ගම්වලට වඩා ස්වභාවික ගම්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩු වනු ඇතැයි සිතුවද, ආශ්චර්යජනක ලෙස දෙවර්ගයේම ගම්වලින් සමාන ප්‍රමාණයක මයික්‍රෝප්ලාස්ටික් නිකුත් විය. එසේම, දෙවර්ගයේම ගම්වල එකම පොලිමර් වර්ග හමු වූ අතර, ඒවා අතර පොලිඔලෙෆින්ස් (Polyolefins), පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (Polyethylene Terephthalate), පොලිඅක්‍රිලමයිඩ් (Polyacrylamides), සහ පොලිස්ටයිරීන් (Polystyrene) ඇතුළත් විය. මෙයින් වඩාත් බහුල වූයේ පොලිඔලෙෆින්ස් වර්ගයයි, එය පොලිඑතිලීන් සහ පොලිප්‍රොපිලීන් වැනි ප්ලාස්ටික්වලින් සමන්විත වේ.

මයික්‍රෝප්ලාස්ටික් බොහෝමයක් සැපීමේ ක්‍රියාවේ මුල් විනාඩි 2 තුළදී නිකුත් වූ අතර, විනාඩි 8කට පසු එකතු කළ සාම්පල වලදී 94%ක් නිදහස් වී තිබිණි. මෙය ඛේඨයේ පවතින එන්සයිම මගින් සිදු නොවූවක් වන අතර, සැපීමේ දී සිදුවන ඝර්ෂණය (Abrasion) හේතුවෙන් ප්ලාස්ටික් කැබලි වෙන් වූ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සාකච්ඡාව

මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ, චුවිංගම් යනු මිනිසුන් මයික්‍රෝප්ලාස්ටික් ආහාරයට ගන්නා තවත් එක් මාර්ගයක් බවයි. මිනිසෙකු වසරකට දහස් ගණනක මයික්‍රෝප්ලාස්ටික් පරිභෝජනය කරන බව පෙර අධ්‍යයනවලින් පෙන්වා දී ඇති අතර, චුවිංගම් භාවිතය මගින් එම ප්‍රමාණය තවත් වැඩි විය හැකිය. එහෙත්, මෙම පර්යේෂණයේ ප්‍රධානි සංජයි මොහන්ති පවසන්නේ, “අපගේ අරමුණ මිනිසුන් බිය ගැන්වීම නොවේ. මයික්‍රෝප්ලාස්ටික් මිනිස් සෞඛ්‍යයට හානිදායක දැයි විද්‍යාඥයන්ට තවමත් නිශ්චිතව පැවසිය නොහැකිය. මිනිසුන් මත සිදු කළ පරීක්ෂණ නොමැත. එහෙත්, අප දෛනික ජීවිතයේදී ප්ලාස්ටික්වලට නිරාවරණය වන බව අපි දනිමු,” යනුවෙනි.

මෙම අධ්‍යයනයේ සීමාවක් වූයේ, එහිදී භාවිතා කළ උපකරණ මගින් මයික්‍රෝමීටර 20ට වඩා කුඩා අංශු හඳුනාගත නොහැකි වීමයි. එබැවින්, නැනෝප්ලාස්ටික් (Nanoplastics) ලෙස හඳුන්වන ඊටත් වඩා කුඩා අංශු නිකුත් වන්නේ දැයි තහවුරු කිරීමට තවත් පර්යේෂණ අවශ්‍ය බව මොහන්ති පෙන්වා දෙයි. එසේම, ඛේඨයෙන් නිකුත් වන ප්ලාස්ටික් ප්‍රමාණය ගම් කැබැල්ලේ ඇති මුළු ප්ලාස්ටික් ප්‍රමාණයෙන් කුඩා කොටසක් බවත්, එබැවින් භාවිතයෙන් පසු ඉතිරි වූ ගම් කොටස පරිසරයට ඇතුළත් වීමෙන් ප්ලාස්ටික් දූෂණය තවත් වැඩි විය හැකි බවත් ඔහු අවධාරණය කරයි.

පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වූ ලීසා ලෝව් (Lisa Lowe) යෝජනා කළේ, ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිරාවරණය අවම කිරීමට කැමති අයට, නව ගම් කැබලි භාවිතය වෙනුවට එක් කැබැල්ලක් දිගු වේලාවක් භාවිතා කිරීම වඩා සුදුසු බවයි. මෙයින් මුඛයට ඇතුළු වන මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණය අඩු කළ හැකිය.

විද්‍යාත්මක වැදගත්කම සහ ඉදිරි දිශාව

මෙම අධ්‍යයනය, චුවිංගම් වැනි සරල භාණ්ඩයක් පවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් මූලාශ්‍රයක් විය හැකි බව පෙන්වා දෙන අතර, එය මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට ඇති බලපෑම පිළිබඳව තවත් පර්යේෂණ සඳහා මග පාදයි. මයික්‍රෝප්ලාස්ටික් ශරීරය තුළ රැඳීමෙන් සිදු විය හැකි බලපෑම්, එනම් හෘද රෝග, පිළිකා, හෝ ප්‍රජනන සෞඛ්‍යයට බලපෑම් පිළිබඳව තවමත් පැහැදිලි සාක්ෂි නොමැත. එහෙත්, සත්ව අත්හදා බැලීම්වලින් සහ මිනිස් සෛල මත කළ පර්යේෂණවලින් හානිකර බලපෑම් ඇඟවී ඇති බැවින්, මෙය බැරෑරුම් ලෙස සැලකිය යුතු ගැටලුවකි.

ඉදිරියේදී, නැනෝප්ලාස්ටික් නිකුත් වීම පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වන අතර, චුවිංගම් නිෂ්පාදනයේදී භාවිතා වන සංයුති පිළිබඳව වඩාත් විනිවිදභාවයක් (Transparency) ඇති කිරීමට නිෂ්පාදකයින්ට බල කළ යුතුය. වර්තමානයේ, බොහෝ ගම් ඇසුරුම්වල “Gum Base” යනුවෙන් පමණක් සඳහන් වන අතර, එහි නිශ්චිත සංයුතිය හෙළි නොකෙරේ. මෙය පාරිභෝගිකයින්ට තමන් භාවිතා කරන දේ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට බාධාවකි.

SteppedOnChewingGum642

නිගමනය

චුවිංගම් මගින් මයික්‍රෝප්ලාස්ටික් සිය ගණනක් හෝ දහස් ගණනක් මුඛයට නිකුත් වන බව හෙළි කළ මෙම අධ්‍යයනය, මිනිස් ජීවිතයේ සරල භාණ්ඩවල පවා ප්ලාස්ටික් දූෂණයේ ව්‍යාප්තිය පෙන්වා දෙයි. එය සෞඛ්‍යයට ඍජු හානියක් කරන බව තහවුරු වී නොමැති වුවත්, පරිසරයට සහ ශරීරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමට පියවර ගැනීම වැදගත්ය. එබැවින්, චුවිංගම් භාවිතය අඩු කිරීම හෝ එක් කැබැල්ලක් දිගු වේලාවක් භාවිතා කිරීම වැනි පුද්ගලික තීරණ මගින් මයික්‍රෝප්ලාස්ටික් නිරාවරණය අඩු කළ හැකිය. තවද, භාවිතයෙන් පසු ගම් සුදුසු ලෙස බැහැර කිරීමෙන් පරිසර දූෂණය ද අවම කළ හැකි බව මෙම පර්යේෂණය අවධාරණය කරයි.

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top