Close
හෙළ දරු දැරියන්ගේ මාර්ගගත විද්‍යා ඉ-සඟරාව

මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද?

Yodha Giant යෝධයෝ

සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි.

අපිට දැනගැනීමට පුළුවන් විදිහට තවමත් ලොව පවතින සහ ඉතා දුර්ලභ ගණයේ රෝගයක් තමයි යෝධ බව (Gigantism) යනුවෙන් හඳුන්වන්නේ. ඇත්තටම අතීතයේ දී යෝධයෝ හිටියා කියන මෙම තත්වය ලේඛනගතව පවතින සහ කටින් කට පැවතගෙන ඇවිත් අහන්න ලැබිච්ච කටකතා හෝ පුරාවෘත්ත හැටියට, එහෙමත් නැත්නම් සුරංගනා කතා හැටියට හඳුන්වන්න පුළුවනි. දුටුගැමුණු රජතුමාගෙ දස මහා යෝධයින් වගේම ජැක් සහ බෝංචි වැලේ කතාවෙදි වගේ යෝධයෝ ඉන්න කතා අපිත් ඕන තරම් අහලා තියෙනවනේ.

යෝධයෝ ඇත්තටම ඉඳල තියෙනවද?

ඔන්න ඉස්සරම කාලෙ යෝධයො හිටියා කියලා බයිබලයෙහි පරණ ගිවිසුමෙහි ජේම්ස් රජුගේ අනුවාදයෙහි සඳහන් වෙලා තියෙනවලු. මේ නිසා වර්තමානයේදීත් කිතුනුවන්ටෙ අතීතයේ යෝධයෝ සිටි බවට විශ්වාසයක් තියෙනවා.

මෙතනින් බලන්න – http://biblehub.com/kjv/genesis/6-4.htm

“There were giants in the earth in those days, and also after that, when the sons of God came in unto the daughters of men and they bare children to them, the same became mighty men which were of old, men of renown.”

යෝධයෝ ඇටසැකිලි

ඇත්ත යෝධයෙක් මොනවගේද?

යෝධයෙක් කියන වචනයට නිර්වචනයක් ලබා ගන්නෙ කොහොමද කියන ගැටලුවට තමයි අපි ඊළඟට මුහුණ දෙන්න යන්නෙ. ඇත්තටම එයාලා විශාල මනුෂ්‍ය වර්ගයක් වෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් වර්තමානයේ දී අප දකින මධ්‍යම උස ප්‍රමාණයෙන් යුතු මනුෂ්‍යයින්ට වඩා අසාමාන්‍ය උසකින් යුක්ත අය වෙන්න ඕනෙ කියලා හිතන්න පුළුවනි.

මෙම තත්ත්වයේ දී විවිධ මිත්‍යා/ සුරංගනා කථා සහ ඉතිහාස කතා සළකා බැලූ විට ඒවා පුළුල් ලෙසින් ප්‍රබන්ධ කතා නොවන ආකාරයට පවත්වාගෙන යාම තුළින් වඩා පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා විය හැකියි. බයිබලයේ සඳහන් දේවල් වගේම, අපගේ ඉතිහාසයේ දුටුගැමුණු රජ සමයේ දස මහා යෝධයින් අප විසින් දැක නැතත්, ලොකු කුඩා කවුරුත් එය ප්‍රබන්ධයක් ලෙස සළකන්නේ නැහැ. අසාමාන්‍ය සුවිසල් ශරීර ප්‍රමාණයකින් සහ ශරීර ශක්තියකින් හෙබි ඔවුන් යෝධයින් ලෙසින් අදටත් අපගේ ඉතිහාසයේ ජීවත් වෙනවා.

යෝධයෝ පා සටහන්

යෝධයෝ ඉඳල තියෙන්නේ ලංකාවේ සහ බයිබලයේ විතරක් නෙවෙයි. ඔබට මතකයි නම් ජැක් සහ බෝංචි වැල කතාවේ යෝධයෝ හිටියා. හැබැයි ඒක නම් සුරංගනා කතාවක් කියලා අපි දන්නවා. ඒ වගේම ග්‍රීක පුරාවෘත්ත වලත් Alcyoneus, Enceladus, Polybotes,  Porphyrion, Otis and Ephialtes (twins), Orion, Damasen, Mimas වගේ යෝධයෝ ඉඳල තියෙනවා. තව මතකද ඩේවිඩ් ගලකින් ගහලා මරපු ගොලායත් කියන යෝධයව? ඩේවිඩ් කියන්නෙ අර මයිකල් ආංජිලෝගෙ සුප්‍රසිද්ධ ප්‍රතිමාවකත් ඉන්න කෙනානෙ.

තව දුරටත් සොයා බැලුවාම මධ්‍යධරණී ප්‍රදේශවල, දකුණු ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලත් යෝධයින් ගැන කියවෙන කතා පවතිනවා. යුදෙව්වන් ලෙස සළකන Gog සහ Magog යන යෝධයින් දෙදෙනා අදටත් ලන්ඩන්හි ආරක්ෂකයින්/ භාරකරුවන් ලෙසින් ඔවුන් සළකනවා. මේ යෝධයින්වත් මිනිස්සුන්ට වඩා විශාල අය ලෙසයි සැළකෙන්නේ. ඒ වගේම එහි තිබෙන විශේෂත්වය වන්නේ ඔවුන් විසින් යෝධයින් මනුෂ්‍ය වර්ගයට අයත් නොවන වෙනස්ම ජාතියක පිරිසක් ලෙස  සැළකීමයි.

යෝධයෝ දත

මේවා පුරාවෘත්තද? ඇත්තමද?

කෙසේ නමුත් පුරාවෘත්ත, මිත්‍යා කථා සහ ජනප්‍රවාද යන සියල්ල ගත් කල සමහර කතා වල අතිශයෝක්තියක් ගැබ් වෙලා තියෙන්න පුළුවනි. සමහරවිට බයිබලයේ කතා සහ පුරාවෘත්ත සහ සුරංගනා කතා අතර නොගැලපීම් සහ වෙනස්කම් පවා තිබිය හැකියි.  ඉතින් “අතීතයේ යෝධයෝ හිටියාද?” යන ප්‍රශ්නයට කතන්දර වලින් පිළිතුරු සෙවීම එතරම් සාර්ථක බවක් පේන්නෙ නැහැ. ඉස්සර කාලේ ඩයිනෝසරයින් හිටියා කිව්වට අපි දැකලා නැහැනේ. ඒත් ඒ සතුන්ගේ පොසිල සාධක ලැබෙනකොට අපි තර්කානුකූලව ඩයිනෝසරයින් සිටි බවට පිළිගන්නවා. එහෙනම් යෝධයින් ඇත්තටම හිටියද කියලා දැනගන්නත් පොසිල සහ යෝධ සොහොන් ගවේෂණය කිරීමට සිදු වෙනවා.

යෝධයින්ගේ සොහොන් කියලා සඳහන් කළාම ඒවා විශාල ඒවා විය යුතුයිනේ. නමුත් කතන්දර වල කියවෙන තරම් ඒවා විශාල නම් නැහැ. ඒවායේ ඉන්නෙ සාමාන්‍ය මිනිසුන්ට වඩා ටිකක් විතර උස මිනිසුන් පමණයි. අපේ රටේ උනත් අඩි හයක් හතක් උස අය ඕනෙ තරම් ඉන්නවා දකින්න පුළුවන්නේ. ඒ වගේම ලොකු ශරීර තියෙන අයත් ඉන්නවා. ලොකු ශරීර කියන්නෙ තරබාරු බව නෙවෙයි. Sardinia කියන ප්‍රදේශයේ යෝධ සොහොන් ගෙවල් නමින් හඳුන්වන ප්‍රදේශයක් තියෙනවලු. හැබැයි එතන කියන විදිහට විශාල සොහොන් ගෙවල් නැහැ. නිකන්ම සොහොන් ගෙවල් ටිකක් විතරයි හමු වෙලා තියෙන්නෙ.

සතුන් ගල් පිළිම බවට පත් කරන අප්‍රිකාවේ නැට්‍රොන් විල

යෝධයින්ගේ පින්තූර

අන්තර්ජාලයේ සෙවීමක් සිදු කලාම යෝධයින්ගේ පින්තූර, මනුෂ්‍යයින්ගෙ ප්‍රමාණයට වඩා විශාල යෝධ ඇටසැකිලි වල පින්තූර ඇති තරම් හොයාගන්න පුළුවන්. මේ ලිපියේ ඇතුළත් වෙලා තියෙන්නෙත් එහෙම පින්තූර තමයි. නමුත් දුකකට කාරණේ වෙන්නෙ මේ පින්තූර එකක්වත් සත්‍ය ඒවා බවට තවම සාක්ෂි සහිතව තහවුරු වී නැහැ. ඒ සේරම ව්‍යාජ පින්තූර බවයි කියැවෙන්නේ.

1969 දී ජෝන් හල් නමැති පුද්ගලයෙකු විසින් මමීකෘත යෝධයෙක් සොයාගත් බවට ප්‍රකාශ කර තිබෙනවා. නිව්යෝක්හි ජීවත් වූ ඔහු විසින් අන්ධ විශ්වාස ඇති අය රැවටීම සඳහා අඩි 10 ක පමණ දිගකින් යුතු යෝධ මමියක් නිර්මාණය කර තිබෙනවා. ඔහු මෙය කොතරම් සාර්ථකව සිදු කළාද කියනවානම්, කොහොමහරි මේ වංචාව අහු වුණාට පස්සෙත් මිනිස්සු වැල නොකැඩී බලන්න ආවලු.

යෝධයෝ Gigantopithecus blacki

පොසිල වාර්තා අනුව බලන විට අපගේ පැරැන්නන් සුරංගනා කතා ම කියලා තියෙනවා කියලත් හිතන්න අමාරුයි. මානව පරිණාමයේදී වරක් Gigantopithecus blacki නමැති වානර විශේෂයක් ඇති වී තිබෙනවා. වසර මිලියනයකට පමණ පෙරදී ඇති වී මානවයින් සමඟ වාසය කර ඉන් පසුව ලෝකයෙන් වඳ වී ගොස් ඇති බවට වාර්තා වෙනවා. මේ අයත් සිටගන්නා විට අඩි 10ක් පමණ උස අය ලෙස සැළකිය හැකියි. සමහරවිට මේ සුවිශාල වානරයින් යෝධයින්ගේ ජනප්‍රවාද ඇති කරන්නට හේතු වෙන්න ඇති. නමුත් කණගාටුවට කාරණය වෙන්නේ ඉහත ඡායාරූපයේ දැක්වෙන පොසිලය වැනි යෝධ අස්ථි කොටස් ඉතා සුළු වශයෙන් තමයි මෙතෙක් හමු වෙලා තිබෙන්නේ. ඒ නිසා යෝධයෝ ගැන තවමත් නිවැරදිම තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

එයට හේතුව ලෙස විද්‍යාඥයින් සළකන්නේ අයිස් යුගයේදී මැමත් වැනි විශාල සතුන් ලෙසින් ම විශාල ශරීරයක් පැවති Gigantopithecus blacki සත්ත්වයාටද තම ජීවිතය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් ඇති වූවා විය හැකි බවයි.

aoNe8vm 460s

විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ඔබේ අදහස මෙහි සඳහන් කරන්න.
scroll to top