බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන් චිත්‍රකක යන අදහස් ඇතුවද මෙම සත්වයාට “චීටා” යැයි නම් තබා ඇත. සිහින් දිග සිරුරකින් හෙබි චීටා සත්වයෙකුගේ ශරීර බර රාත්තල් 100 ක් පමණ වේ. ඔවුන්ගේ හිස කුඩාය. උස අඩි දෙකහමාරක් පමණ වේ. සිරුරේ දිග අඩි තුනක් සිට හතරක් දක්වා වේ. චීටාගේ ධාවන වේගය පැයට කි.මි 112 ක් පමණ දුරක් දක්වා වූ වේගවත් ගමනක්.
අප්‍රිකාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග කලාපන්හි සිය ගති පුරුදු පවත්වා ගෙන යන චීටාගේ වඩාත්ම විශේෂත්වය වන්නේ ඉදිරිපස සහ පසුපස ගාත් අතර පවත්නා ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වෙනසයි. ජපානයේ යමගුචි සරසවියේ මහාචාර්ය “නයෝමි වාදා “ සඳහන් කරන අන්දමට චීටාවන්ගේ වේගවත් ගමනට අවශ්‍ය ජවය ලැබෙන්නේ ඔවුන්ගේ පසු පස පිහිටි ගාත් වලිනුයි. පසුපස ගාත්වල ඇගිලි වල තන්තු නැති අතර ඉදිරිපස ගාත්වල ඇගිලිවල වේගවත් තන්තු පිහිටා තිබෙනවා. මේ නිසා සිරුරේ සමබරතාවය පවත්වා ගනිමින් දුවන්න හැකියාව චීටාට ලැබී තිබෙනවා.
ඒ වගේම උගේ කොඳු නාරටිය දිගේ දිවෙන වේගවත් තන්තු නිසා ඒ මත වේගවත් ශක්තියක් නිපදවනවා. වේගය වර්ධනය කර ගැනීම සඳහා කොඳු නාරටිය හකුලා ගැනීමේ හැකියාවක් මේ සතුන්ට තිබෙනවා. ඔවුන්ගේ උරහිස් අනෙකුත් අස්ථිවලට සම්බන්ධ වී තිබෙන නිසා ගාත් චලනය කිරීම පහසුයි. ඉදිරිපස ගාත්වල අස්ථි ශක්තිමත් වගේම ඝනකමින් යුක්තයි. පාදවල ලිහිල් කොට්ටා වැනි ව්‍යුහ පිහිටා තිබෙනවා.
චීටාගේ වලිගය කොඳු ඇට දිගුවේ කොටසක්. ඒ නිසා වේගය වැඩි කිරීමට වගේම ධාවන දිශාව වෙනස් කරන්නත් පුලුවන්. වලිගය වගේම කොඳු ඇට පෙලත් ඉතා නම්‍යශීලී නිසා නොවැටී තමන්ගේ ගොදුර හඹා යාමේ හැකියාවෙන් යුක්තයි.
චීටාගේ සිරුරේ ඕවලාකාර පුල්ලි තුන්දහසක් පමණ තිබෙනවා. ඒවා බාහිර සමේ පිහිටා තිබෙන අතර වියලි ගස් කොලං අතර සැඟව සිටීමේ හැකියාව පරිසරයෙන්ම ලැබී තිබෙන වරප්‍රසාදයක්.
චීටාගේ සාමාන්‍ය හැසිරීම
මාංශභක්ෂක සත්වයෙක් වන චීටා වන සතුන්ගේ විලෝපිකයෙකු ලෙසින් සිටින නිසාම ඔවුන්ගේ ආයු කාලය ස්වභාවධර්මය විසින්ම අවුරුදු 10 සිට 12 ක් වැනි කාලයකට සීමා කර තිබේ. දිනකට මාංශ කිලෝ ග්‍රෑම් 4 ක් පමණ අවශ්‍ය වෙනවා. පිරිමි සතුන් සමූහ ලෙසින් හැසිරීම ප්‍රිය කළත් ගැහැණු සතුන් හුදෙකලාවට කැමැත්තක් දක්වති. වනාන්තරය පුරා හැසිරෙන ගැහැනු සතුන් සිය සීමාව ගැන එතරම් තැකීමක් නොකරති. එකම පවුලක සතුන් එකට ගැවසෙන අතර ඔවුන් තම සීමාව මායිම් කර ගන්නේ තණකොළ මතට මුත්‍රා කිරීමෙන්ය.
සමහර අවස්ථාවන්හිදී ගැහැනු පැටවුන් උපත ලබා මාස පහකින් පමණ රැලෙන් වෙන්ව හුදෙකලාව කාලය ගෙවන අවස්ථාවන්ද ඇත. එසේ නොමැති වුනත් ලිංගික පරිණත වූ පසුව ගැහැණු සතුන් අනිවාර්යෙන්ම රැලෙන් මිදී යති. වසර දෙකක් පමණ වෙත්ම ලිංගික පරිණත බවට පත් වෙන අතර ගැබ් කාලය මාස තුනකට සීමා වේ. ලිංගික උත්තේජන කාලයේදී පිරිමි සතුන් කීප දෙනෙක්ම එක් ගැහැණු සතෙකු වෙනුවෙන් තරඟයට යොමු වෙති. සංසර්ගයෙන් අනතුරුව පිරිමි සතා ගැහැනු සතා හැර යන අතර ගැබ් ගත් කාලය පුරා ඇය තමන්ගේ ආහාර අවශ්‍යතාව තනියෙන් සපුරා ගන්නීය.
අමතර දැනුමට – මකුළුවා දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?
එක් වරකට පැටවුන් පහක් බිහිකරන අතර උපත් බර ග්‍රෑම් 125 ක් පමණ වේ. උපත ලබන පැටවුන්ගේ දෑස් නොපෙනෙන අතර ඇවිදීමට පවා මාසයක් පමණ කාලයක් ගත වේ. පැටවුන්ට මවගේ දැඩි රැකවරණයක් ලැබේ. කිරි ලබා දීම, ලෙවකෑම, වගේම විශාල ගලක් යට හාරාගත් බේසමක් වැනි ආවාටයක හෝ තණ බිස්සක් තුළ තබා ගෙන ආදරයෙන් පැටවුන් රැකගනී. තැනින් තැනට කටින් ඔසවා ගෙන ස්ථානමාරු කරමින් ඉතා ආදරයෙන් පැටවුන්ට රැකවරණය දීමේ මව්වත් ගුණයෙන් චීටා මව්වරුන් පොහොසත්ය. මාස තුනක් පමණ වූ විට පැටවුන්ට දඩයම උගන්වනු ලැබේ.
අද වන විට මොවුන් ඉතා දරුණු ලෙසින් වඳවීමේ තර්ජනයට පත් සත්ව විශේෂයක් බවට පත්ව සිටිති. අප්‍රිකාව, මධ්‍යම ආසියාව, සහ මැදපෙරදිග කලාපයන්හි මෙම සත්ව විශේෂයන් වදවීමේ තර්ජනයට දරුණු ලෙසින් පත්ව ඇත. ඔවුන්ගේ වාසස්ථාන ජනාවාස වීම නිසා චීටාවන්ට ගති පුරුදු පවත්වා ගෙන යන පරිසර තත්වයන් අහිමි වී තිබේ.
සත්වෝද්‍යාන වල වුවත් මෙම සතුන්ට තම ප්‍රජනන කටයුතු වෙනුවෙන් ගැලපෙන පරිසර තත්වයක් නොමැති වීම නිසා ඔවුන්ගේ බෝ වීම ශිඝ්‍ර ලෙසින් පහළ බැස යමින් පවතී.